
දිවුරුම් ප්‍රකාශයයි
ශ්‍රී ලංකාවේ එක්තරා ගමක මටම කියා ආණ්ඩුවෙන් ලැබුණු පර්චස් හතළිහක ස්ථිර පදිංචි මගේ වයස අවුරුදු--යි. සිංහල/බෞද්ධ,විවාහකයි,රැකියාව බොහොම පොඩි එකක්,පහත ප්‍රකාශය කරමි.
මා මෑතක පටන් සිංහල බ්ලොග් අවකාශයේ කරක් ගසමි.කාටත් හොරෙන් අහීමාන වේලාවල් වල චාරයක් නැතිව මේ රෝන්දෙ ගැහීම සිදුකරන ලද අතර ගෑනුන්ගේ හෙලුවැලි රූප බලනවාදැයි අසමින් මායියා වරින් වර එබිකම් කිරීම හැර වෙනත් ප්‍රශ්නයක් නොතිබුනු බව ද වගකීමෙන් යුතුව කිව හැකිය. එහෙත් මෑතදී මගේ හිතේ පොඩි කාරණාවක් ගැන කොස්සක් ඇතිවූ අතර මේ වන විට එය මොලේ පයිත්තියන් වෙන ගානට වැඩි වර්ධනය වෙමින් පවතී.මේ සැකය මුලින්ම ඇතිවූයේ එක්තරා බ්ලොග් අඩවියක් කියවීමේදීය.ඉන් අනතුරුව බොහෝ බ්ලොග් අඩවි නිදිමරාගෙන කියවාගෙන යද්දී මගේ සැකය තහවුරු වූ බවද කිව යුතුය.
මා ඉතා වගකීමෙන් කියනුයේ මෙම බ්ලොග් අඩවි වැඩිමනක් පවත්වාගෙන යන්නේ අපේ ගමේම එවුන් බවයි.ඒ සදහා සාක්කි කප්පරක් මා සතුව ඇත.උදාහරණයක් ලෙස විජේ මුදලාලිගෙ බස් එකේ වැඩකරන වසන්ත කොලුවා පහුගිය දාක අදෝ උන්දගේ මල ගෙදරදි කියාපු ත්‍රස්තවාදියො පිටරට ඉදන් ආපහු ලංකාව අල්ලන්ඩ යන කතාවක් පහුවදා ඌ කියාපු වචන වලින්ම බ්ලොග් එකක තිබුණි.හෙලේනාගේ පොඩි එකී පන්තියෙම කොල්ලෙකුට දීල ටීචර්ට අහුඋන ලව් ලෙටර් එකද ගෙඩි පිටින්ම එකක දමා තිබුනි.එමෙන්ම පහුගිය දවස් වල අපේ ගමෙන් සෝමාවතී පූජාවට ගිය කරලිනා උන්දෑ හේරත් කඩේදි කොරාපු සෝමාවතී ආශ්චර්ය වර්ණනාව අකුරක් නෑර බ්ලොග් එකක තිබී හමුවිය.එපමණක් නොව සෝමාවතී ගංවතුර ගැන කියා උන්දෑට කෝචොක් දාපු කොල්ලන්ට දීපු උත්තරද වෙනත් බ්ලොග් වල කමෙන්ට්ස් අතර තිබී හමුවිය. බෙනඩික්ගේ දෙවෙනි කොල්ලා (උගේ ගන්ඩම දෙයක් නැත)කොලු රෑනත් එක්ක ගංජා මලක් උරා මයිල ගහක් යටට වී කියන මල් කතා බ්ලොග් ගණනාවකම තිබී හමුවිය.එමෙන්ම ඉදහිටලා ගමට එන හරක් බිස්නස් කරන කාසිම් මුදලාලිත් එක්ක ආරියා කොක්කක් දාගත්තු දා මුදලාලිගේ ජාතිය ගැන ඌ කියපු අසික්කිත කතා ද සියල්ලම පාහේ බ්ලොග් අඩවියක තිබී මෑතකදී හමුවූ අතර වලිය සමතයකට පත් කරන්නට ආපු එවුන් කියපු කතාද වෙනත් අඩවි වල සහ කමෙන්ට්ස් අතර තිබුණි.
මේ සොච්චමක් පමණකි. තවත් නැවකට මෙවන් සාක්ෂි ඇත.මෙයින් පැහැදිලි වනුයේ අපේ ගමේම එවුන් මට කොකා පෙන්වා ඇති බවයි.මෙයින් ඇතිවූ මගේ සිත් තැවුලට පිළියමක් ලෙස මම ද මගේම බ්ලොග් අඩවියක් දියත් කරමි.මටම කියා විශේෂිත සිරිසේන චින්තනය වැනි යමක් නැති අතර මා ලියනු ලබන්නේ මට අදාල සබ්ජෙක්ට් පමණක් බැවින් මෙයට සිරිසේන සබ්ජෙක්ට්ස් කියා නම තබමි.(මෙම නම සම්බන්ධයෙන් වෙනත් කිසිදු කරුණක් අදාල කර නොගත් බව කරුණාවෙන් සලකන්න).මට දැනට කීමට ඇත්තේ එපමණකි.
මා විසින් ඉහත කරන ලද ප්‍රකාශය මට හැගෙන විදියට සත්‍යයක් බවද,එය අසත්‍යයක් නම් යථා කාලයේදී මා හට වහ කාල කැලේ රිංගන්නට සිදුවන බව හොදාකාරවම දන්නා බවද, ගෞරව බහුමානයෙන් යුතුව මෙයින් දිවුරා ප්‍රකාශ කරමි.
මෙයට,
සිරිසේන.
